2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

නොමිලේ ලෙඩ සුව කරන බොරැල්ල ආයුර්වේදය

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 2378

 

නිරෝගීභාවය සැමට සම්පතක් වන්නා සේම රටට දැයට වැඩදායක වන්නේද යහපත් ශරීර සෞඛ්‍යයෙන් අනූන වූ ජනතාවකි. එහෙයින් වෙනදාටත් වඩා අද වනවිට ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩිපුර කතාබහට ලක්වෙයි. මෙලෙස නිරෝගිමත්ව සිටීම යන කාරණයේදී ආයුර්වේද ප්‍රතිකර්ම කෙරෙහිද ජනතාව තුළ ඇත්තේ වැඩි නැඹුරැතාවයකි. විශේෂයෙන්ම මෙරට පමණක් නොව විදේශයන්හි වෙසෙන ජනතාව පවා දැන් දැන් මෙම ආයුර්වේද ප්‍රතිකර්ම කෙරෙහි යොමුවන අතර මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කෙරෙහිද එය බෙහෙවින්ම බලපාන සාධකයක් බවටද පත්ව ඇත.

ආයුෂ පවත්වාගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. මෙම වෛද්‍ය ක්‍රමය සැකසෙන්නේ නිවාරණය යන්න පදනම් කරගෙනයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඇවැතුම් පැවැතුම් ක්‍රම හා වත්පිළිවෙත් ද පවතී. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරැ නොවන ආකාරයෙන් කායික හා මානසික යන අංශ දෙකෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වාගෙන යාම ආයුර්වේදය මගින් අදහස් කෙරේ.

භාරතයෙහි උපන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අපට දායාද වන්නේ මහින්දාගමනයත් සමඟය. ඒ වනවිටත් මෙරට දේශීය වෛද්‍ය ක්‍රමයක් පැවැති ඇති අතර පසුකාලීනව එනම් මහින්දාගමනයෙන් පසු දේශීය වෛද්‍යවරැ විසින් ආයුර්වේදයේ හර පද්ධතීන්ද උපයෝගී කොට ගනිමින් සංවිධානාත්මක ආකාරයෙන් දේශීය වෛද්‍ය ශාස්ත්‍රය මහජනයාගේ හිතසුව පිණිසම යොදාගෙන ඇත.

ආයුර්වේදයේ භාවිත වන ඖෂධ වර්ග වැඩි ප්‍රමාණයක මූලාශ්‍රය වන්නේ ශාකමය කොටස්ය. ඖෂධීය වටිනාකමකින් යුත් ශාකයක් ගත්විට එහි පංචාංගය එනම් මුල්, කොළ, පොතු, මල්, ඵල ආදිය ඖෂධ නිපදවීම සඳහා යොදාගනී. ඔසුපැන්, යුෂ, තෛල, බෙහෙත් ගුලි, කල්ක, ආසව, කෂාය, අරිෂ්ට ආදී වශයෙන් ආයුර්වේදයේ ඖෂධ මාධ්‍යයන් කිහිපයකි. ශාක ඖෂධවලට අමතරව මී පැණි, සත්ත්ව මූලාශ්‍ර උපයෝගී කොට ගනිමින් නිපදවෙන ඖෂධ මෙන්ම විවිධ පාෂාණ වර්ගද ඖෂධ වශයෙන් භාවිත කර ඇත.

සාමාන්‍යයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී සිදුකරන්නේ ශෝධතමය ප්‍රතිකාර ක්‍රමයයි. එනම් යම් පුද්ගලයකු පෙළෙන රෝගය රෝගියා තුළින් අනාවරණය කරගනිමින්, රෝගය රෝගියා තුළ වැඩෙන්නට සලස්වමින් එහි නිධානය සොයා එයට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයයි. මේ සඳහා වැඩි කාලයක් වැයකළ යුතු වන අතර රෝගය සුවවීමට පෙර රෝගී තත්ත්වයේ යම්කිසි වැඩිවීමක්ද පෙන්නුම් කරයි. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලදී සුවවීමට මත්තෙන් රෝගය උත්සන්න වන බවට මතයක් පවතින්නේද මෙම කාරණය නිසාවෙනි.

කෙසේ වෙතත් ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් වන ආයුර්වේද ප්‍රතිකාර කෙරෙහි මේ වනවිටත් විශාල පිරිසක් නැඹුරැ වී සිටිති. රටපුරා පවතින ආයුර්වේද රෝහල් හරහා රෝගීන් වැඩි පිරිසකට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු නිසි පරිදි සිදුකෙරේ. මේ අතරින්ද බොරුල්ල ආයුර්වේද රෝහලෙන් කෙරෙන කාර්යභාරය අතිමහත්ය. 

බොරුල්ල ආයුර්වේද රෝහලේ රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රියාත්මක වන ක්‍රමවේදය හා එම රෝහලේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් මහතා අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
&බොරුල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල ආරම්භ කරලා තියෙන්නේ 1929 දී. එදා පටන් අද දක්වාම රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු සිදුකිරීම මෙන්ම විවිධ සංවර්ධන ව්‍යාපෘතීන්ද මේ හරහා ක්‍රියාත්මක වුණා. මේ ආයුර්වේද රෝහලේ ප්‍රධාන වශයෙන් අංශ තුනක් තියෙනවා. බාහිර රෝගී අංශය, නේවාසික අංශය හා නිෂ්පාදන අංශය වශයෙන්. බාහිර රෝගී අංශය ගත්තම ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුද්ගලයකුට අපේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.
ඒ වගේම මෙම රෝහලේ එක් එක් රෝග සඳහා සායන විස්සක් පවත්වනවා. ශල්‍ය සායනය, ශාලාක්‍ය සායනය (ඇස්, කන්, උගුර හා නාසය සම්බන්ධ රෝග සඳහා ඇති සායන), සන්ධි රෝග සායනය, ස්ත්‍රී රෝග සායනය, ළමා රෝග සායනය ආදිය ඊට ඇතුළත් වෙනවා.

බොරුල්ල ආයුර්වේද රෝහලෙන් කෙරෙන තවත් ප්‍රධාන කාර්යයක් තමයි සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපයන අතරම මිනිසුන්ගේ එදිනෙදා සෞඛ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහාත් සායන පැවැත්වීම. අපේ යෝග සායනය පැවැත්වෙන්නේ ඒ අනුවය. සාමාන්‍ය පුද්ගලයකුටත් යෝග සායනයට සම්බන්ධ වීමෙන් ලෙඩ රෝග නැති සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ඊට අමතරව මානසික රෝග පැත්ත ගැනත් අපි අවධානය යොමුකරලා තියෙනවා. අධ්‍යාත්මික පැත්ත හා බැඳුණු මෙවැනි සායන හරහා ජනතාවට විශාල සුබසිද්ධියක් සැලසෙනවා.

අනිත් එක මේ සායනවල තිබෙන විශේෂත්වය තමයි අපේ රෝහල තුළ ඉන්නවා වෛද්‍යවරැ වර්ග කිහිපයක්. විශ්වවිද්‍යාල උපාධි අරගෙන ආව උපාධිධාරී වෛද්‍යවරැ ඉන්නවා. ඒ අතරෙත් විශේෂඥ වෛද්‍යවරැ ඉන්නවා. ඊට අමතරව දේශීය එහෙමත් නැත්නම් පාරම්පරික වෛද්‍යවරැන්ගේ සේවයක් මෙහිදී ලබාගන්න පුළුවන්. දේශීය වෛද්‍ය ක්‍රමයේ එන කැඩුම් බිඳුම්, සර්ප විෂ, ගෙඩි, වණ, පිළිකා, මානසික රෝග ආදිය සඳහා මෙම දේශීය වෛද්‍යවරැන්ගේ ප්‍රතිකාර නිරතුරැවම ලැබෙනවා.

ඊළඟට මෙම රෝහල සාමාන්‍ය ජනතාවට සේවය සපයනවා විතරක් නෙමෙයි මේකෙන් කෙරෙන තවත් කාර්යයක් තියෙනවා. ඒක තමයි Teaching Hospital කියන්නේ. ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයන්ට ඒ අයගේ ප්‍රායෝගික පුහුණුව ලබාගන්න භාවිත වන රෝහල. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයට අනුබද්ධිත වෙලයි මෙය පවත්වාගෙන යන්නේ. මෙම දේශීය වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරැන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපේ රෝහලේ පවත්වන සායන සඳහා මහාචාර්යවරැ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරැ, ළමා රෝග විශේෂඥවරැ, කාන්තා රෝග විශේෂඥවරැ, පංචකර්ම සඳහා විශේෂඥවරැ ආදී මේ හැම කෙනෙක්ම සහභාගි වෙනවා. ඉතින් සායනවලට සහභාගි වන සාමාන්‍ය ජනතාවට ඒ වෛද්‍යවරැන්ගේ සේවාව ලබාගන්න පුළුවන්.

රෝහලේ අභ්‍යන්තර අංශය ගත්තම ඉදිරියේදී රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සහිත තට්ටු අටක ගොඩනැගිල්ලක් රෝහලට එකතු වෙනවා. ඒ අනුව වැඩි රෝගීන් ප්‍රමාණයකට රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඇත්තටම අපි රාජිත සේනාරත්න ඇමැතිතුමාට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මෙම කර්තව්‍යය ඉක්මන් කළාට. ශල්‍යාගාර, සූතිකාගාර ඒ සියල්ල ඉදිරියේදී ඉදිවෙනවා. මෙම අලුත් ගොඩනැගිල්ලේ ගෙවන වාට්ටු කිහිපයකුත් ඉදිවෙනවා. ඊට අමතරව විදේශිකයන් අරමුණු කර ගනිමින් එපාර්මන්ට්ස් ඉදි කිරීමකුත් සිදුවෙනවා. හොඳ රෝහලක් බිහිවේවි තව අවුරැද්දක් විතර යනකොට.

ඊළඟ එක අපේ නිෂ්පාදනාගාරය. අපි බොහෝවිට උත්සාහ කරනවා අපිට අවශ්‍ය බෙහෙත් අපිම සකසා ගන්නට. මේ සඳහා අපිට හොඳ නිෂ්පාදනාගාරයක් තියෙනවා. අපිට හදන්න බැරි ටික පිටින් ගෙන්වා ගන්න වෙයි. නමුත් අපි බෙහෙවින් උත්සාහ කරනවා ඖෂධවලින් ස්වයංපෝෂිත වෙලා හැකි වුණොත් අපේ ඖෂධ පිටටත් ලබාදෙන්නට.
ඒ අතරම අපේ වෙදකම් අතරේ තිබෙන පංචකර්ම චිකිත්සාවත් අපි ඉතා හොඳින් කරගෙන යනවා. මෙම චිකිත්සාවට රෝහලේ වෛද්‍යවරැන් මෙන්ම රෝහලෙන් පිටත විශේෂඥ වෛද්‍යවරැන්ද සහභාගී වෙනවා. ඉතින් ජනතාවට අපි ආරාධනා කරනවා මේ රෝහලට ආවොත් වඩා හොඳ ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව තියෙනවා. එන්න ඇවිල්ලා නොමිලේ ප්‍රතිකාර ලබාගන්න කියන කාරණය තමයි අපිට කියන්න තියෙන්නේ.

යම් රෝගයකදී අප ලබාගත යුත්තේ බටහිර ප්‍රතිකාර ක්‍රමයද නැතිනම් දේශීය ප්‍රතිකාර ක්‍රමයද යන්න බොහෝ දෙනකුට මතුවන ගැටලුවක් විය හැකියි. ඒ සම්බන්ධයෙන්ද අප කළ විමසීමේදී අධ්‍යක්ෂ ඩී.එස්. තෙන්නකෝන් මහතා කරැණු අවධාරණය කළේ මෙලෙසිනි.

රෝගී පුද්ගලයකු ගත්විට ඔහු කුමන ප්‍රතිකාර ක්‍රමයකට යා යුතුද යන්න තීරණය කිරීම ඔහුගේ අයිතියක්. එහෙත් තමන් ළඟට එන රෝගියාව පරීක්ෂා කිරීම මගින් රෝගියාට වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමය මොකක්ද කියන එක ගැන වෛද්‍යවරයා තේරැම් ගත යුතුයි.

අපි හිතමු යම් රෝගියකුට බරපතළ විදිහට අංශභාගය හැදෙනවා කියලා. ඉතින් මෙහෙම කෙනෙක් එකපාරටම සිංහල වෙදකමට පෙළඹෙන්නේ නෑ. මොකද එයාට ඒ වෙද්දි සංකූලතා බොහොමයක්ම තියෙන්න පුළුවන්. එතනදි එයා බටහිර වෙදකමට යොමුවීම හොඳයි. අපි ළඟට එවැනි රෝගියෙක් ආවත් අපි දැනගන්න ඕනෙ එයාගේ තත්ත්වය පරීක්ෂා කරලා වඩාත් සුදුසු මොන ප්‍රතිකාර ක්‍රමයද කියලා කියන්නට. මෙම රෝගියාගේ සංකූලතා පාලනය කරන්නට බටහිර ප්‍රතිකාර ක්‍රමය කරන්න ඕනෙ. ඉන් අනතුරැව එම රෝගියාගේ රෝග තත්ත්වයන් පාලනය කරන අතරම අපේ ප්‍රතිකාර කටයුතුත් සිදුකළාම රෝගියා ඉක්මනින් සුවපත් වෙනවා.

ඇත්තටම මේ ප්‍රතිකාර ක්‍රම දෙකේම එක හා සමාන වටිනාකම් තියෙනවා. මිනිසුන්ගේ ජීවිත බේරාගන්න පුළුවන් බටහිර වෛද්‍ය ක්‍රමයෙන්. ඒ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයෙන් කාලීන රෝගවලට ඉතා හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා. මේ දෙකේ එකතුවක් තමයි රටේ දකින්න ඕනෙ. අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව මෙම වෛද්‍ය ක්‍රමයන් දෙකම කිරීමේ හැකියාව තියෙනවා නම් ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ.

♦ හේමමාලා කුමාරි රාජකරැණා